Tuesday, August 12, 2014

............



ඳට හිමිකම් කියනු බැරි සඳ
තරුවකට පෙම් බඳිනු කෙලෙසද
කලා පිරි සඳ අරා නුබ ගැබ
සොමි කිරණ වගුරනා කල රැය

දාහයෙන් ගත දවන දහවල
සුළං රැල්ලක් පතනු කෙලෙසද
සිසිල් මද නළ ඔබෙ සුවඳ ගෙන
මගේ හද ගැබ දවාලන කල

හදේ නළියන දුක් සුසුම් රැල්
සබඳ අවනත කරනු කෙලෙසද
නෙතග නළියන කඳුළු මුතු කැට 
කොපුල් පිසගෙන පොළව සිඹි කල

Monday, June 9, 2014

අම්මා....


තෙරක් නොපෙනෙන මහා කතරක
හඹා ගොස් මිරිඟුවක් පසුපස
පැතුම් සුන් වී හති වැටුනු කල
පවස නිවනා දිය බිඳයි නුඹ, අම්මා

සප්ත මහ සාගරය කළඹා
නුබ පිසින සැඩ චණ්ඩ රළ මැද
අතරමං වී මග සොයන කල
පාර කියනා පහන් ටැඹ නුඹ, අම්මා

අමාවක නුබ කළා පිරි සඳ
සොයා වෙහෙසී නෙත් ‍තෙමුණු කල
බලා සෙනෙහෙන් මදෙස හිනැහුණු 
අඳුරු නුබ දුල තනි තරුව නුඹ, අම්මා

Thursday, May 15, 2014

~~~~~



















සඳ දකිනු රිසියෙන්
තඹරු පිපුනද රෑට
සඳට ලං වනු හැකිද
පියුමකට කිසිදාක

සඳක් පෙම් බැන්දාට
විලක පිපි පියුමකට
සඳට ලං වනු හැකිද
නුඹ අතැර පියුමකට

සඳ අගෙයි අඳුරු නුඹ 
තරු අරා දිලෙන සඳ
සියක්පත නුඹ අගෙයි
පුදසුනක පිදෙන කළ‍

අඳුරු නුඹ එළිය කර
තරු අරා වඩින සඳ
දෙස බලන් දුර හිඳන් 
තුටු වෙයන් පියුම නුඹ



Friday, November 29, 2013

මිලින වූ මලක කව...
















  

අරුණළු වැටෙනු කලියෙන්
දෙනෙත් හැර බැලූයෙමි
විසල් තුරු මුදුනක
මල් කැකුළක්ව

දසත පැතිරෙන මුදු මල් සුවඳ
හද කිති කවන සිහිල් මද පවන
ගතෙහි දැවටෙන මල් මකරන්ද මැද
කොපුල් සිඹි පිනි බිඳුවක්ය

සුරපුරක සිරිය මැවු
අසිරිමත් උදෑසන
පැතුම් ගොනු කලෙමු අප
එක්ව ඉන්නට දිවි තුරාවට

ඉරා මිහිඳුම් පටල
එබෙන සඳ රිවි කිරණ
හැර දමා මා මෙලොව
වියැකී ගිය අරුම ඔබ

පෙති එකින් එක දිගැර
දෙනෙත් විදහා බැලූ කළ ලොව
නොදිටිමි කිසිවකුත්
සම කළ හැකි ඔබට

තුරු පත් සිලි සිලිය
සවන් පිනනා කුරුළු කිංකිණිය
නෙත් කොනින් ලන බඹර ඉඟිබිඟිය
නොතැකුවෙමි, දුටිමි ඔබම පමණක්

සැඩ හිරු කිරණ වැද
විඩා බර වී මැලව ගිය කළ
තැලුණු සිත පැතීමි යළි
ඔබෙන් ලද සිසිලස

නොයෙක් දුක් කම්කටොලු මැද
ගෙවූයෙමි දින කදුළු සිර කර
නොමැති කළ සවි තවත් දුක් දරනට
අතැර නටු අග සිප ගතිමි මහ පොළොව


......

 
 
රෑ නිදිවරා
අකුරු එකිනෙක අමුණා
පද වැලක් ගලපා
සුමදුර තනුවක්ද යොදා
ලගන්නා හඬින් ගයමින්
වෙණ වැයීමි
බිහිරි අලියෙකුට

Wednesday, April 24, 2013

සෙනෙහෙ එකමයි දිවි තුරාවට

සවන පිනනා විහඟ ගී නද
ගලන ගඟුලේ නගන දිය රැළි
ගිමන නිවමින් හමන මද නල
අදත් ඒ වාගෙමයි

පිපී හිනැ‍හෙන කුමුදු මල් මැද
තනිය මැකු ඒ පුංචි මින් රැළ
හොරෙන් එබෙනා හිරු කිරණ අද
කොයි ගියාදැයි ඔබ අසයි

සසර ගමනේ එක්ව ඉන්නට
පැතූ පැතුමන් බොඳ වෙලා අප
බැස ගිහින්  හිරු මගෙ ලොවේ අද
සිත පෙළයි මා වාරු නැති පය

ඔබේ අත ගෙන වැව් තෙ‍රේ හිඳ
සිහින මැවුවෙමි සොඳුරු ලොවකට
පතිනියක වී පිය නඟයි ඔබ
අන් සතුව අද ඔබේ ලොවකට

නෑ සියන් නැත මිතුරු කැළ නැත
ඔබද ලඟ නැත මා තනිව ඇත
ඉතින් කම් නැත තුටින් ඉනු මැන
සෙනෙහෙ එකමයි දිවි තුරාවට


මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....


හිත දුර දුවයි ඉනි වැටවල් නැති හන්දා
ලතැවුල් ගෙනෙයි නෙතු අග කඳුළැලි රන්ඳා
අමතක නොවෙයි කිසිදා හද රැඳි ලන්දා
මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....