Tuesday, August 12, 2014

............



ඳට හිමිකම් කියනු බැරි සඳ
තරුවකට පෙම් බඳිනු කෙලෙසද
කලා පිරි සඳ අරා නුබ ගැබ
සොමි කිරණ වගුරනා කල රැය

දාහයෙන් ගත දවන දහවල
සුළං රැල්ලක් පතනු කෙලෙසද
සිසිල් මද නළ ඔබෙ සුවඳ ගෙන
මගේ හද ගැබ දවාලන කල

හදේ නළියන දුක් සුසුම් රැල්
සබඳ අවනත කරනු කෙලෙසද
නෙතග නළියන කඳුළු මුතු කැට 
කොපුල් පිසගෙන පොළව සිඹි කල

Monday, June 9, 2014

අම්මා....


තෙරක් නොපෙනෙන මහා කතරක
හඹා ගොස් මිරිඟුවක් පසුපස
පැතුම් සුන් වී හති වැටුනු කල
පවස නිවනා දිය බිඳයි නුඹ, අම්මා

සප්ත මහ සාගරය කළඹා
නුබ පිසින සැඩ චණ්ඩ රළ මැද
අතරමං වී මග සොයන කල
පාර කියනා පහන් ටැඹ නුඹ, අම්මා

අමාවක නුබ කළා පිරි සඳ
සොයා වෙහෙසී නෙත් ‍තෙමුණු කල
බලා සෙනෙහෙන් මදෙස හිනැහුණු 
අඳුරු නුබ දුල තනි තරුව නුඹ, අම්මා

Thursday, May 15, 2014

~~~~~



















සඳ දකිනු රිසියෙන්
තඹරු පිපුනද රෑට
සඳට ලං වනු හැකිද
පියුමකට කිසිදාක

සඳක් පෙම් බැන්දාට
විලක පිපි පියුමකට
සඳට ලං වනු හැකිද
නුඹ අතැර පියුමකට

සඳ අගෙයි අඳුරු නුඹ 
තරු අරා දිලෙන සඳ
සියක්පත නුඹ අගෙයි
පුදසුනක පිදෙන කළ‍

අඳුරු නුඹ එළිය කර
තරු අරා වඩින සඳ
දෙස බලන් දුර හිඳන් 
තුටු වෙයන් පියුම නුඹ