Friday, November 29, 2013

මිලින වූ මලක කව...
















  

අරුණළු වැටෙනු කලියෙන්
දෙනෙත් හැර බැලූයෙමි
විසල් තුරු මුදුනක
මල් කැකුළක්ව

දසත පැතිරෙන මුදු මල් සුවඳ
හද කිති කවන සිහිල් මද පවන
ගතෙහි දැවටෙන මල් මකරන්ද මැද
කොපුල් සිඹි පිනි බිඳුවක්ය

සුරපුරක සිරිය මැවු
අසිරිමත් උදෑසන
පැතුම් ගොනු කලෙමු අප
එක්ව ඉන්නට දිවි තුරාවට

ඉරා මිහිඳුම් පටල
එබෙන සඳ රිවි කිරණ
හැර දමා මා මෙලොව
වියැකී ගිය අරුම ඔබ

පෙති එකින් එක දිගැර
දෙනෙත් විදහා බැලූ කළ ලොව
නොදිටිමි කිසිවකුත්
සම කළ හැකි ඔබට

තුරු පත් සිලි සිලිය
සවන් පිනනා කුරුළු කිංකිණිය
නෙත් කොනින් ලන බඹර ඉඟිබිඟිය
නොතැකුවෙමි, දුටිමි ඔබම පමණක්

සැඩ හිරු කිරණ වැද
විඩා බර වී මැලව ගිය කළ
තැලුණු සිත පැතීමි යළි
ඔබෙන් ලද සිසිලස

නොයෙක් දුක් කම්කටොලු මැද
ගෙවූයෙමි දින කදුළු සිර කර
නොමැති කළ සවි තවත් දුක් දරනට
අතැර නටු අග සිප ගතිමි මහ පොළොව


......

 
 
රෑ නිදිවරා
අකුරු එකිනෙක අමුණා
පද වැලක් ගලපා
සුමදුර තනුවක්ද යොදා
ලගන්නා හඬින් ගයමින්
වෙණ වැයීමි
බිහිරි අලියෙකුට

Wednesday, April 24, 2013

සෙනෙහෙ එකමයි දිවි තුරාවට

සවන පිනනා විහඟ ගී නද
ගලන ගඟුලේ නගන දිය රැළි
ගිමන නිවමින් හමන මද නල
අදත් ඒ වාගෙමයි

පිපී හිනැ‍හෙන කුමුදු මල් මැද
තනිය මැකු ඒ පුංචි මින් රැළ
හොරෙන් එබෙනා හිරු කිරණ අද
කොයි ගියාදැයි ඔබ අසයි

සසර ගමනේ එක්ව ඉන්නට
පැතූ පැතුමන් බොඳ වෙලා අප
බැස ගිහින්  හිරු මගෙ ලොවේ අද
සිත පෙළයි මා වාරු නැති පය

ඔබේ අත ගෙන වැව් තෙ‍රේ හිඳ
සිහින මැවුවෙමි සොඳුරු ලොවකට
පතිනියක වී පිය නඟයි ඔබ
අන් සතුව අද ඔබේ ලොවකට

නෑ සියන් නැත මිතුරු කැළ නැත
ඔබද ලඟ නැත මා තනිව ඇත
ඉතින් කම් නැත තුටින් ඉනු මැන
සෙනෙහෙ එකමයි දිවි තුරාවට


මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....


හිත දුර දුවයි ඉනි වැටවල් නැති හන්දා
ලතැවුල් ගෙනෙයි නෙතු අග කඳුළැලි රන්ඳා
අමතක නොවෙයි කිසිදා හද රැඳි ලන්දා
මිතු දම හොඳයි බැඳුමන් දුක දෙන හින්දා....

Tuesday, April 16, 2013

කමක් නෑ තව බලා ඉන්නම්........


සයුරු  රළ පෙල නුබ සිඹී නම්
අමාවක නුබ සඳ දිලෙයි නම්
නුඹ කෙදින හෝ මගේ වේ නම්
කමක් නෑ තව බලා ඉන්නම්

Thursday, March 21, 2013

ළදැරියක් වීමි මම‍


ළදැරියක් වීමි මම‍
පුර පස සඳට පෙම් බඳින

කම්මුල් සිඹින
ලා සඳ කිරණ
නෙතු ළඟ දිලෙන
සුදු සඳ පහන
ළඟ යැයි හැඟුණි
මගෙ යැයි දැනුණි

විදහා දෑත
ගන්නට ළඟට
තැත් කළ විගස
ඒ සඳ පහන
දුර යැයි දැනුණි
දෙකොපුල් තෙමුණි

එනමුදු 
ළදැරියක් වීමි මම‍
ඒ පුන් සඳම ඉල්ලා හඬන

Sunday, February 17, 2013

සෙනෙහෙ එකමයි හැමදාට.....


ඉරේ උණුහුම නැතුවාට
සඳේ සිසිලස නැතුවාට
දිලෙන තරු එළි නැතුවාට
නුඹ මට එළියයි හැමදාට

තුරු පත සිලි සිලිය නැතුවාට
කොඳ මල් සුවඳ නැතුවාට
බඹර ගුම් නද නැතුවාට
නුඹ මට මිහිරියි හැමදාට

නෙතඟ බැලුමන් නැතුවාට
ආල හැඟුමන් නැතුවාට
නුඹව මට හිමි නැතුවාට
සෙනෙහෙ එකමයි හැමදාට



Friday, January 25, 2013

ඔබ


සිත රිදන
බිඳුනු පැතුමකි
නෙතු දවන
කඳුළු බිඳුවකි
මට අහිමි
සොඳුරු මිනිසෙකි

Saturday, January 5, 2013

නිහඬ පෙම....


ලැබුනු කෙටි නිමේශයකදි
ලියන්නට ඔබ ගැන
මා ගැන
අපි ගැන
හිඳ ගතිමි මොහොතක්
මොනව ලියන්නද
කොහොම ලියන්නද
අතේ රැඳි නිල් පෑන
නොඉවසිලිමත් සුදු කොළය
මොනව හරි ලියපන් 
කෑ ගසයි සිතත් මගෙ
ඔබේ රුව ඇඳෙයි මැකෙයි
පිරී යයි මුළු සිතම
තවම නොකියූ නිහඬ ප්‍රේමය
අරන් යයි මා දුරක
තත්පරෙන් තත්පරේ
ගෙවී ඇත කාලයක්
සුදුම සුදු සුදු කොළයෙ
තැනින් තැන තිත් ගොඩක්
ලිවුවෙ නෑ කිසි දෙයක්
අන්තිමේ ප්‍රශ්නයක්
මේ තරම් ගොළුද හිත
ආදරේ වගෙම මගෙ