Friday, November 29, 2013

මිලින වූ මලක කව...
















  

අරුණළු වැටෙනු කලියෙන්
දෙනෙත් හැර බැලූයෙමි
විසල් තුරු මුදුනක
මල් කැකුළක්ව

දසත පැතිරෙන මුදු මල් සුවඳ
හද කිති කවන සිහිල් මද පවන
ගතෙහි දැවටෙන මල් මකරන්ද මැද
කොපුල් සිඹි පිනි බිඳුවක්ය

සුරපුරක සිරිය මැවු
අසිරිමත් උදෑසන
පැතුම් ගොනු කලෙමු අප
එක්ව ඉන්නට දිවි තුරාවට

ඉරා මිහිඳුම් පටල
එබෙන සඳ රිවි කිරණ
හැර දමා මා මෙලොව
වියැකී ගිය අරුම ඔබ

පෙති එකින් එක දිගැර
දෙනෙත් විදහා බැලූ කළ ලොව
නොදිටිමි කිසිවකුත්
සම කළ හැකි ඔබට

තුරු පත් සිලි සිලිය
සවන් පිනනා කුරුළු කිංකිණිය
නෙත් කොනින් ලන බඹර ඉඟිබිඟිය
නොතැකුවෙමි, දුටිමි ඔබම පමණක්

සැඩ හිරු කිරණ වැද
විඩා බර වී මැලව ගිය කළ
තැලුණු සිත පැතීමි යළි
ඔබෙන් ලද සිසිලස

නොයෙක් දුක් කම්කටොලු මැද
ගෙවූයෙමි දින කදුළු සිර කර
නොමැති කළ සවි තවත් දුක් දරනට
අතැර නටු අග සිප ගතිමි මහ පොළොව


......

 
 
රෑ නිදිවරා
අකුරු එකිනෙක අමුණා
පද වැලක් ගලපා
සුමදුර තනුවක්ද යොදා
ලගන්නා හඬින් ගයමින්
වෙණ වැයීමි
බිහිරි අලියෙකුට